29 Apr
29Apr

             අතීතයේ ලක්දිව විසූවන් යක්ෂ, රාක්ෂස, නාග, දෛත්‍ය (දේව) යනුවෙන් ගෝත්‍ර හතරකට වර්ගීකරණය වී තිබුණු අතර එකී ගෝත්‍ර හතර එකට එකතුව “සිංහල” යන ගෝත්‍රය බිහිවී ඇති බව කුමාරතුංග මුනිදාසයන්ගේ මතය යි. ක්‍රි. පූ. සවන සියවසේ ලාඨ රට සිට නැව් නැගි විජය හා පිරිස ලක්දිවට ගොඩබසින අවධියේ දී යක්, රකුස්, පිසාච, නාග හා දේව යන පංච වර්ගික මිනිස් කොට්ඨාශයක් සිටි බවට දීපවංශයේ සඳහන් වේ. මහාචාර්ය පරණවිතාන මහතා පවසන අන්දමට බුදු සමය ලක්දිවට පැමිණීමට පෙර හෙළදිව විවිධ ඇදහීම් තිබූ බවත්, ඒ අතර යකුන්ට බලි බිලි පිදේනි දීම, බෝග සම්පත් හා දරු සම්පත් සඳහා වළවාමුඛී නම් දෙව්දුවක් පිදීම විශේෂ විය. ඉන්පසු පණ්ඩුකාභය රජු සමයේ දී යකුන් යක්ෂනියන් පිදීම වැඩිදියුණු වූ බව ඓතිහාසික මූලශ්‍රයන්ගෙන් පැහැදිලි වේ.

             අදෘශ්‍යමාන අමනුෂ්‍ය බලවේග උදෙසා අතීතයේ දී පැවැත්වූ පුද පූජා සම්ප්‍රදාය ග්‍රන්ථාගත තොරතුරු අනුව අවිධිමත් පුදපූජා රටාවක් වශයෙන් පැවති බව විද්‍යමාන වේ. එකළ විවිධාකාර ලෙඩ රෝග මිනිසාට වැළදෙන බව විශ්වාස කළ නමුත් ඉපැරණි යුගයේ ඔවුනට ඇතිවූයේ ආශාව, බඩගින්න හා මහළුවීම යන ලෙඩ පමණක් බවත්, පසුව මස් අනුභව කිරීම ආරම්භයත් සමඟ අනූ අටක් ලෙඩ රෝග ඇති බව බෞද්ධ සාහිත්‍යයේ  සඳහන් වේ. ශාන්ති කර්ම වල ඇදුරන් ව්‍යාධි, දෙසිය තුනක් අතුරු ආන්තරා දුරුවේවා! යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් සූත්‍ර දේශනවේ සඳහන් වන කරුණ හා සැසඳෙන බවක් පෙනේ.  

            ඉහත දැක්වූ කිනම් හෝ බලවේගයකට අනුව කිසියම් පුද්ගලයෙකු රෝගාතුරවූයේ නම් ඖෂධ භාවිතා කිරීම හා යාග හෝම පැවැත්වීම සිංහල සමාජයේ පැවැති චිරාගත පිළිවෙතයි. ඒ අනුව යකුන්ගේ බලපෑම අනුව රෝගාතුර අවස්ථාවකදී ලක්දිව ශාන්තිකර්ම ඇඳුරන් පවත්වනු ලැබ ඇත. එසේම ශාන්තිකර්ම ශ්‍රි ලංකාවේ පැවති භූගෝලීය පිහිටීම අනුව උඩරට, පහතරට, සබරගමු වශයෙන් ශාන්තිකර්ම පද්ධතියක් බිහිවිය. එකී ශාන්තිකර්මයන් තුළ අන්තර්ගත ආකෘතිය ඒ ඒ සම්ප්‍රදායේ සුවිශේෂීතාවය අනුව විකාශය වී ඇත. ඒ සදහා ප්‍රාදේශීය වශයෙන් පුද ලබන්නා වූ දෙවිවරු ප්‍රධාන වී ඇත. එම ශාන්තිකර්ම පද්ධතියට සම්බන්ධව වාදන සම්ප්‍රදායක්, නර්තන සම්ප්‍රධායක් , ගායන සම්ප්‍රදායක් හා රංග වස්ත්‍රාභරණ මෙන්ම රංග භූමියක් ද දේශීය ශාන්තිකර්ම ශිල්පියා අතින් නිර්මාණය විය. අස්වනු නෙළා අටුකොටු පිරී පැවතුණ හෙයින් එකී නිවාඩු කාලය ප්‍රීතිමත්ව ගත කිරීම සඳහා අවශ්‍යකරන සමෘද්ධිමත් බවක් ද ඔවුන් සතුවිය.  

 ගැමි කලාකරුවන් තමන්ගේ නිර්මාණ කාර්යයෙහි යෙදුණේත්, එකී නිර්මාණ ප්‍රදර්ශනය කරන ලද්දේත්, එකී නිර්මාණවලට සහභාගීවීමට සහ එම නිර්මාණ රස විඳින්නට අවකාශයක් ලැබුණොත් මෙකී කාලවකවානුව තුළදීය. කොහොඹා කංකාරිය, දෙවොල් මඩුව, පහන් මඩුව වැනි උඩරට , පහතරට හා සබරගමු සම්ප්‍රදායන්ට අයත් ශාන්තිකර්ම නමින් හඳුන්වන සංස්කෘතික මංගල්‍යයන් ද, තත්කාලයට සමගාමීව පවත්වනු ලබයි. පෙර කී සාම්පුදායික ශාන්තිකර්මයන් පැවැත්වීමේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ සරුසාර අස්වැන්නක් ලබා ගැනීම සඳහා දෙවියන් වෙත පූජෝපහාර කිරීමයි. නෙළාගත් අස්වැන්නෙහි මුල් කොටස අක්යාල දෙවියන් වෙනුවෙන් පූජා කිරීම මෙහි පුධාන අරමුණක්ව පවතින හෙයින් සම්ප්‍රදායන් 03ටම අයත් පෙරකී ශාන්තිකර්ම පූජ්‍යාර්ථය මුල්කොට ගත් බව පෙනීයයි.

කොහොඹා කංකාරිය

 














දෙවොල් මඩුව

 

පහන් මඩුව

 දේශීය වශයෙන්  ප්‍රකටව පැවති ගැමි නාටකයන් ද වසන්ත කාලයේ එනම් අලුත් අවුරුදු කාලය තුළ වඩාත් ප්‍රකටව කරනු ලබන්නකි. විශේෂයෙන් කෝලම්, සොකරි, සහ රූකඩ වැනි ගැමි නාටක තත්කා වකවානුව තුළ මිනිසාගේ විනෝදාස්වාදය අරබයා කරනු ලබන බව ප්‍රකටය. එසේවූවද ප්‍රාෙද්ශීය වශයෙන් ගත් කල එකී ගැමි නාටකයන් අදාළ ප්‍රෙද්ශයෙහි ප්‍රචලිතව පවතින ආවේනික නර්තන ශෛලීන් සහ ඒ හා බැඳුණු ශාන්ති කර්ම යාතු කර්ම ආදිය සමඟ විවිධ පදනම් යටතේ සම්බන්ධතාවයක් පවත්වනු ලබන බව පෙනේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ බෝහෝ විට නර්තන ශිල්පියාත් නාටක ශිල්පියාත් යන දෙදෙනාම ඇතැම් විට එක් අයකු වීමයි. 

කෝලම්

සොකරි

 රූකඩ

 

ගැමි නාටක පිළිබඳව වඩාත් විමසිල්ලෙන් අ‍ධ්‍යයනය කරන්නෙකුට එකී නිර්මාණයන් හුදු වින්දනය පෙරදැරිකොට ගෙන කරන ලද බව පසක් වේ. මුලු රැය පහන් වනතුරු, කමත, තානායම්පොල ආදී ස්ථානයන්හි රංගභූමියක් තනාගන්නා ගැමි නාටක ශිල්පියා පොල් පන්දම් ආධාරයෙන් ආලෝකය භාවිතා කරගනිමින් නාට්‍ය කලාවේ මූල බීජය වන කථාවස්තුව , ශිල්පීන්, භාවිතා කරගනිමින් රඟ දක්වනු ලබයි. එසේම සොකරි නාටකයේ එයටම ආවේනික වූ රංග ශෛලියක් ද කෝලම් සහ රූකඩ වලද එයටම ආවේණික වූ ක්‍රම ශිල්ප වලට අනුව රඟ දක්වනු ලබයි. මෙම ජන නාටක තුලින් ප්‍රේක්ෂකයාගේ මනසට විනෝදාස්වාදයක් මෙන්ම සමාජ ආදර්ශයක් එක්කරයි. එම ආදර්ශය එක්කරනු ලබන්නේ චරිත, චින්තනය, ප්‍රෙක්ෂාව, ගැටුම් අවස්ථා ආදී නාට්‍ය කලාවේ මූලිකාංග, භරතමුණිගේ නාටය ශාස්ත්‍රෙයහි එන ආංගික, වාචික, ආහාර්ය සාත්වික යන චතුර්විධ අභිනයන්ගෙන් යුක්තවයි. අධ්‍යයතනයේ ශ්‍රී ලංකාව තුළ වේදිකා නාට්‍ය කලාව පවතින අතර එම සම්ප්‍රදාය ගොඩනැගීමට දේශීය ශාන්තිකර්ම හා ජන නාටක වලින් ලබාගන්නා වූ අත්දැකීම ප්‍රබල විය. නාට්‍යයක් නිර්මාණය වීමේ දී අනුභූතිය ප්‍රධාන වන අතර කතා ප්‍රපංචය ගොඩනැගීම සඳහා නාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ අත්දැකීම් ඉතා වැදගත්ය. එමනිසා ස්වඅත්දැකීම්, අන්‍ය අත්දැකීම්, පෙළ අත්දැකීම් තුළින් ලබාගන්නා වූ අනුභූතිය සමාජයට කාල වකවානුවට ප්‍රේක්ෂකයා අරමුණු කරගනිමින් නාට්‍ය නිර්මාණය කරනු ලබයි.

 වර්තමානයේ ශ්‍රි ලංකාව තුල තාත්වික නාට්‍ය කලාව, ලෝක ධර්මී නාට්‍ය කලාව, නාට්‍ය ධර්මී නාට්‍ය කලාව, ප්‍රහසන නාට්‍ය කලාව ආදී වශයෙන් ඒ ඒ නිර්මාණ කරුවාගේ සිතැඟි පරිදි නාට්‍ය නිර්මාණය කරනු ලබයි. මිනිසාගේ මූලික අවශතාවයන් ඉටුකර ගනිමින් ස්වභාවික වස්තූන්වලට දේවත්වය ආරෝපනය කර වැඳුම් පිඳුම් කර මිනිසා නොයෙකුත් ඇදහිලි විශ්වාස පදනම් කරගනිමින් ශාන්තිකර්ම කේෂ්ත්‍රය ආරම්භ වූ අතර එහි ක්‍රමශිල්ප භාවිතා කරගනිමින් ජන නාටක බිහිවිය. වර්තමානයේ අතීතයේ පැවති සියලු කලාමාධ්‍යයන් වල කොටස් උකහා ගනිමින් දේශීය නාට්‍ය කලාවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය වී ඇත. 

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING